Wednesday, January 8, 2025

General line - 0115112241

නවක ක්‍රීඩක ජනිත් නිසා සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 44 යි පන්දු 4කදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 208ක් පමණයි. නායක ක්‍රෙග් අර්වින් ලකුණු 82ක් රැස් කලා. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 04ක් බිද හෙලුවා. පන්දුවාර 36ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 180වේ සීමාව පසුකරමින් ප්‍රබල ස්ථානයක පසුවූ සිම්බාබ්වේ පිලේ අවසන් කඩුලු 06 ලකුණු 26ක් තුල බිද වැටීම ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුවක් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී කඩුලු 08ක් දැවී ලකුණු 211ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 04 ලකුණු 53ක් තුල බිද වැටුණු අතර ලකුණු 112ක් වන විට කඩුලු 06ක් බිද වැටුණා.

ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් ලකුණු 17කට, සධීර සමරවික්‍රම ලකුණු 04කට, චරිත් අසලංක ලකුණු 0කට, අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 04කට හා දසුන් ශානක ලකුණු 07කට දැවී ගියා.

තරගය පැවති ප්‍රේමදාස පිටියේ විදුලි ආලෝකය මධ්‍යයේ දෙවනුවට පන්දුවට පහරදීමේ දැඩි අභියෝගයට මුහුණ දෙමින් සිය දෙවන එක්දින තරගයට සහභාගී වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ නියමුවා වුණා.

ඒ, පන්දු 127කදී හයේ පහර දෙකක් හා හතරේ පහර 06ක් සමග ලකුණු 95ක් රැස් කරමින්.

තරගයේ උණුසුම වැඩි කරමින් ශ්‍රී ලංකා පිලේ අගපෙල පිතිකරුවන් වූ මහීෂ් තීක්ෂණ ලකුණු 18ක් හා දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 18ක් මෙන්ම ජෙෆ්රි වැන්ඩසේ නොදැවී ලකුණු 19ක් රැස් කලා. 

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් එක පෙලට අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ඉතා ඉවසීමෙන් හා වගකීමෙන් සිය ඉනිම ගොඩ නැගූ ජනිත් ලියනගේ ශතකය පෙනී පෙනී දැවී ගියේ 08 වන කඩුල්ල ලෙසයි.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 172ක් ලෙසයි.

ඒ වන විට ක්‍රීඩා පිටියට වර්ෂාව ඇද හැලීමට ඉතා ආසන්න වූ අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පසුවූයේ සිම්බාබ්වේ පිලට වඩා ලකුණු 04ක් පිටුපසින්.

ඒ අනුව තම මංගල ශතකයට වඩා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සිතූ ජනිත් ලියනගේ ශතකය පෙනී පෙනී දැවී යන්නේ ද ලකුණු වේගය වැඩි කිරීමට උත්සහ දැරීමත් සමගයි.

එතැන් සිට ඉනිම ගොඩ නැගූ වැන්ඩසේ හා චමීර ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයට රැගෙන ගියේ නවවන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 39ක සබඳතාවක් ගොඩ නගමින්.

අවසන් පන්දු 12ට ශ්‍රී ලංකාවට ලකුණු 11ක් අවශ්‍ය වූ අතර 49වන පන්දුවාරයේදී හතරේ පහර 03ක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිල තරගය ජය ගත්තා.

සිම්බාබ්වේ පිලට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආ රිචඩ් නගරාවා ලකුණු 32කට කඩුලු 05ක් බිද හෙලුවා. ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තුන්වන හා අවසන් එක්දින තරගය ලබන 11වදා පැවැත්වීමට නියමිතයි.