වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඔහු මෙම උපදෙස් ලබා දුන්නේ අද ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඒ මහතා උපදෙස් දුන්නේය.
මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළේය.
විශේෂයෙන් බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කෙරෙහි අවධානය යොමු කරමින් එම ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග හා ඒවායේ ප්‍රගතිය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ඩෙංගු පාලනය කිරීම සඳහා සාගල රත්නායක විසින් ලබා දෙන නායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් අගය කළ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල සඳහා සිය උපරිම සහාය ලබා දෙන බවද පවසා සිටියා.
මීට අමතරව කොළඹ නගරයේ ඇති අවදානම් සහිත ගස් සම්පූර්ණයෙන් ඉවත් කිරීම හෝ අතු කපා දමා අවදානම අවම කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
කෙසේ වුවද කපා දමන ගස් වෙනුවෙන් නව පැලයක් සිටුවීමේ වැඩපිළිවලක් සකස් කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.