Friday, December 27, 2024

General line - 0115112241

ශාරුක් ඛාන්ගේ කොල්කටා පිල තුන්වන වරටත් IPL කිරුළ දිනයි




ලොව වැඩිම අවධානයක් දිනූ ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 ශූරතාව දිනාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, මෙවර තරඟාවලියේ වාර්තා පිට වාර්තා තැබූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත්කරමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.

එය ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ අවසන් මහා තරඟයක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.

එහි තවත් විශේෂත්වයක් වූයේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එනම් ලකුණු 287ක් රැස් කරමින් මෙවර තරඟාවලියේදී වාර්තා බිහිකළ සන්රයිසස් පිල මෙලෙස අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යාමයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටක් ලකුණු 14කට කඩුලු 02ක් බිඳ හෙලුවා. 

ලකුණු 114ක ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

කොල්කටා කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ ශූරතාවක් දිනූ තුන්වන අවස්ථාව මෙය වනවා.

කොල්කටා කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ සුපිරි ඉන්දීය නලු ශාරුක් ඛාන්.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහු අවසන් මහා තරඟය නැරඹීමටද පැමිණ සිටියා.

මෙවර කාගෙත් ආදරය දිනූ කණ්ඩායම වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් කටයුතු කළා.

මෙම කණ්ඩායම් දෙක තරඟාවලිය ආරම්භයට පෙර සිටම කාගේත් කතාබහට ලක්වුණා.

ඒ, ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් මිලදී ගැනීමට වාර්තාගත අධික මුදලක් වැය කිරීම හේතුවෙන්.

කොල්කටා පිල එහිදී මිචෙල් ස්ටක් මිලදී ගැනීමට ඉන්දීය රුපියක් කෝටි 24.75ක් වැය කළ අතර සන්රයිසස් පිල පැට් කමින්ස් මිලදී ගැනීමට ඉන්දීය රුපියල් කෝටි 20.5ක් වැය කළා.

එය ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා වැය කළ වැඩිම මුදල ලෙසටයි ඉතිහාසගත වුණේ.