Friday, December 27, 2024

General line - 0115112241

පැරා ඔලිම්පික් තරඟාවලියේදී රිදී පදක්කම අහිමි වූ දිනේෂ්ට ඔලිම්පික් සිහිනය බොඳ වෙයි

ටීකේජී කපිල




ජපානයේ පැවති පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඇතුළු කණ්ඩායම දිවයිනට පැමිණියා.

එම තරඟාවලිය ජපානයේ කෝබේහීදී මැයි 17 දින සිට 25 වනදා දක්වා පැවැත්වුණා.

ඊට  ලොව රටවල් 152 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගී වී තිබෙනවා.  

එම තරඟාවලියේදී එෆ් - 64 තරග කාණ්ඩය යටතේ තරග කළ සමිත දුලාන් හෙල්ල විසි කිරීම ඉසව්වෙන් දෙවන ස්ථානයට පත් වෙමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එෆ් - 42 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වට සහභාගී වූ පාලිත බණ්ඩාර එහිදී තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එමෙන්ම ටී - 44 කාණ්ඩය යටතේ තරග කළ නුවන් ඉන්දික මීටර් 100 ධාවන තරග ඉසව්වෙන් තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා. 

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ දිනේෂ් ප්‍රියන්ත දිනා ගත් රිදී පදක්කම ඔහුට අහිමි වී තිබෙනවා.

ඒ, ඉන්දියාවේ විරෝධතාව මත සිදු කළ විමර්ශනයකදී පැරා ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකමකමද ඔහුට අහිමි වී තිබෙනවා. 

දිනේෂ් ප්‍රියන්තට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බවයි ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් දිවයිනට පැමිණිමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේදී පැවසුවේ.

දිනේෂ් ප්‍රියන්ත මීට පෙර පැරා ඔලිම්පික් තරගාවලි දෙකකදී, ලෝක ශූරතා තරගාවලි දෙකකදී සහ ආසියානු තරගාවලි තුනකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

ඔහු 2014 වසරේ සිට ජාත්‍යන්තර පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා සංගමයේ වෛද්‍ය සභාව විසින් අත් ආබාධිත එෆ් - 46 කාණ්ඩය යටතේ තරඟ කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ක්‍රීඩකයෙකු බවට සනාථ කර තිබුණා.

ඔහු 2014 වසරේ සිට දිනපතා පුහුණු වීම්වල නිරත වී සිටි නිසා ඔහුගේ අතේ, වැළමිටෙන් පහළ කොටසේ යම් සුව වීමක් තිබී ඇති බව ද ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පැවසුවා.

මෙම තත්ත්වය පාදක කර ගනිමින් ඉන්දියාව විසින් යුරෝ 100 ක මුදලක්, ලෝක පැරා ඔලිම්පික් කමිටුව වෙත තැන්පත් කරමින් දිනේෂ් ප්‍රියන්තට එරෙහිව අදාළ විරෝධතාව ඉදිරිපත් කර තිබෙනවා.