Wednesday, November 20, 2024

General line - 0115112241

ඇප හිමි වූ හිරුණිකා ගෙදර යන්න කලින් කියූ කතාව

උදය කුමාර - එන් ඒ ඩබ් නිරෝෂන්




ඇප අත්සන් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයෙන් අද මුදා හැරුණා.

තමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ඇයව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කළා.

ඒ, රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

එමෙන්ම ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් එහිදී නියෝග කළා.

ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සිර දඬුවම්   නියම වී බන්ධනාගාරගතව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඇප අත්සන් කිරීමෙන් අනතුරුව ඇය අධිකරණයෙන් මුදා හැරියා.  

2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක නැමති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18 කට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය කෙරුණා.

ඒ අනුව ඇයට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් තුන් ලක්ෂ හැටදහසක දඩයක්ද නියම කරනු ලැබුවා. 

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටි කාල සීමාවේදී තමන් ලද අත්දැකීම් සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.