Monday, November 18, 2024

General line - 0115112241

දෙමළ පොදු අපේක්ෂකයෙක් උතුරෙන් දැමූ හේතුව ගැන විග්නේශ්වරන් කතා කරයි




මෙවර ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කළේ මධ්‍යම රජයටත් ජාත්‍යන්තරයටත් පණිවිඩයක් ලබා දීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරු නැගෙනහිර ජනතා මතය පෙන්වා දීමට මෙවර ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගැනීම එහි අරමුණ වන බවයි.  


මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන්.


මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් බී අරියනේත්‍රන් තෝරා පත් කර ගෙන තිබෙනවා.

සන්ධානගතව සිටින උතුරේ දේශපාලන පක්ෂ 07ක නියෝජිතයින් අතර යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි එම තීරණය ගෙන ඇත්තේ.

දෙමළ පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීම සඳහා පුද්ගලින් තුන් දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් අතරින් බී අරියනේත්‍රන් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙනවා. 

කෙසේවෙතත් ඉලංකෛ තමිල් අරසු පක්ෂය සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ එම සන්ධානගත පක්ෂ 07ට ඇතුළත් වන්නේ නැහැ.

උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන්ගේ දැඩි උවමනාව මත එම පක්ෂ 07 සන්ධානය පිහිටුවාගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම නිශ්ඵල කාර්යයක් ලෙස දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක් පෙන්වා දී තිබෙනවා.

එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් පවසා ඇත්තේ ජයග්‍රහණය කිරීමට නොහැකි වුවද දෙමළ ජනතාවගේ බලය පෙන්වීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවයි.