Monday, November 18, 2024

General line - 0115112241

වතු කම්කරුවන්ට හිමි සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට බව ජනපති කියයි




වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බවත්, වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස  එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ  නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 

" මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. 

කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. 

රටේ ආර්ථික ගැටළු සම්පූර්ණයෙන් විසඳි නොමැති නමුත් බොහෝ දුරට ජනතාවට සහන ලබාදීමට අපට හැකි වී තිබෙනවා. 

ඒ අනුව 2022 වසරට වඩා මේ වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී තිබෙනවා. 

අපට මෙවන් තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම නිසයි. 

ඒ වගේම  අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිමට ද අපට හැකි වි තිබෙනවා. 

ඒ අනුව අප ලබාගත් ණය ආපසු ගෙවීමට 2042 වසර වන තෙක් කල් ලැබී තිබෙනවා. 

අප මේ ගිවිසුම්වලින් ඉවත් වුවහොත් හෝ එය සංශෝධනය කිරීමට උත්සාහ කළොත් අපට එම සහන අහිමි වෙනවා. 

එවිට අප රටක් ලෙස නැවත පරණ තත්ත්වයට පත් වෙනවා. නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා.  

ඒ නිසා මෙම වැඩසටහන ඉදිරියට ගෙන යනවාද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. 

ඉන්දියාව වැනි ආර්ථික දියුණුවක් කරා අපද ගමන් කළ යුතුයි. 2048 වසර වන විට එම සීග්‍ර දියුණුව ඇති කර ගැනීට අප සැලසුම් කර තිබෙනවා. 

ඒ වගේම රට භාර ගැනීමට නායකයන් හොයනවද ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද කියා ජනතාව තීරණය කළ යුතුයි. 

වසර ගණනාවක්  කම්කරු ජනතාවට හිමි සේවක අර්ථක සාධක අරමුදල් ගෙවා නැහැ. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා. 

දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා

ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. අනිත් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා. 

නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ.

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ වතු සමාගම් 07ක් මේ වන විට එකඟතාව පළ කර තිබෙනවා. 

මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් පසු එම අමාත්‍යාංශයේ වගකීම පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස මටයි. 

ඒ නිසා මේ පිළිබඳ එකඟතාවකට පැමිණිම සඳහා එළැඹෙන සඳුදා පඩි පාලක සභාව සමඟ සාකච්ඡා කර,  එම තිරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍යනම් විශේෂ නීති ගෙන ඒමට මා සූදානම් බව කිවයුතුයි. 

එම නීති ගෙන ආ විට ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මෙන්ම පි. දිගම්බරන් මන්ත්‍රීවරයා යන දෙදෙනාම එය සම්මත කර ගැනීමට සහය වනු ඇතැයි මම විශ්වාස කරනවා. "