Monday, November 18, 2024

General line - 0115112241

පාතාලයට ගිනිඅවි සැපයු බන්ධනාගාර නිලධාරියා මෙන්න




රාජගිරිය, කොටුගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකල වැටලීමකදී ගිනිඅවි තුනක්, ජීව උණ්ඩ රැසක් සහ මත්ද්‍රව්‍ය සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදීයි.

අදාළ නිවසේ උඩු මහලේ විශේෂ රහසිගත කුටියක සගවා තිබියදී ඒවා සොයාගෙන තිබෙනවා.

ඒ අතර ටී 56 ගිනි අවියක් සහ  ටී 56  පතොරම් ගැබ් 01ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, එම පතොරම් ගැබ් 01ක්, සහ  විවිධ වර්ගයේ පතොරම් 400ට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 06ක්, ගංජා මිලිග්‍රෑම් 700ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් එම නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයේ ප්‍රවාහන අංශයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නියාමකවරයෙක්.

විදෙස් ගත පාතාල නායකයෙකු සමඟ සබඳතා පැවැත් වූ ඔහු මෙරට පාතාල සාමාජිකයන් වෙත ගිනිඅවි සපයා ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුගිය 04 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යම් අපරාධයකට අදාළව සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙතයි.

එහිදී සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.