Monday, November 18, 2024

General line - 0115112241

ගිනිඅවි සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම්




රාජගිරිය, කොටුගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකල වැටලීමකදී ගිනිඅවි තුනක්, ජීව උණ්ඩ රැසක් සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ නියාමකවරයා අත්අඩංගුවට ගත් බවට  පොලිසිය විසින් ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයේ ප්‍රවාහන අංශයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නියාමකවරයෙක්. 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පසුගියදා සැකකාර බන්ධනාගාර නියාමකවරයාගේ නිවසේ සිදුකල වැටලීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ නිවසේ උඩු මහලේ විශේෂ රහසිගත කුටියක සගවා තිබියදී ටී 56 ගිනි අවියක්, එම පතොරම් ගැබ් 01ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, එම පතොරම් ගැබ් 01ක්, විවිධ වර්ගයේ පතොරම් 400ට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 06ක්, ගංජා මිලිග්‍රෑම් 700ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් එම නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාර නියාමකවරයාගේ නිවසින් එලෙස සොයාගෙන ඇත්තේ විදෙස් ගත පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගොත අසංකගේ අවි ආයුධ බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.