Monday, November 18, 2024

General line - 0115112241

කතුරකින් හෙදියකගේ හිසට පහර දුන් වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් තීන්දුව

උදය කුමාර




කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ හෙදියට රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල් වලින් ගෙවන ලෙසයි කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව අදාළ වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන්.

කුරුණෑගල මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන හෙද නිළධාරිනියක් විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල  ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීම සඳහා තමා  වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවයි.

එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා වගඋත්තරකාර  ශල්‍ය වෛද්‍යවරයා විසින් කතුරක්  තමාගෙන්  ඉල්ලා සිටි බවයි. තමා එම කතුර එම වෛද්‍යවරයාට ලබා දුන් අතර එම කාර්යය සිදු කිරීමෙන් පසු තමා විසින් එම කතුර  ට්‍රොලියේ තැබු බවත් පෙත්සම්කාරිය පවසනවා.

එම අවස්ථාවේදී වග උත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා තමා අමතා “මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා”  යැයි සඳහන් කළ බවත් ඉන් අනතුරුව ඔහු  එම කතුර ගෙන තම හිසට දමා ගැසීම හේතුවෙන් තම හිසෙන් ලේ ගැලීමට පටන් ගත් බවත් පෙත්සම්කාරිය චෝදනා කළා.

මෙම සිද්ධියෙන් පසු සහෝදර හෙදියක් පැමිණ තමන්ව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය බවත් පසුව රෝහල් ගත කළ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය දින දෙකකින් පසුව රෝහලින් පිටවී ගිය බවත් සඳහන් කර සිටියා.

මෙම නඩුකරයට අදාලව විරෝධතා ගොනු කරමින් වග උත්තරකාර  වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාව තමා හිතාමතා සිදුකළ දෙයක් නොවන බවයි.

එහෙත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයින් දෙදෙනෙකු දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ වග උත්තරකාර වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී කතුර රැගෙන පෙත්සම්කාර හෙදියට පහරදී ඇති ආකාරය  අනාවරණය වූ බවයි.

ඒ අනුව  වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සිද්ධිය වූ අවස්ථාවේ  ඉතා කෝපාවිෂ්ඨව කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් ඔහු  පෙත්සම්කාරියට කතුරෙන් පහරදී ඇති බව තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් පෙත්සම්කාර හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.