Monday, November 18, 2024

General line - 0115112241

වතු කම්කරුවන්ට 1,700ක් දෙන්න යළිත් ගැසට් නිවේදනයක්




වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පඩි පාලක සභාවේ සභාපති එච් කේ කේ ඒ ජයසුන්දරගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප 1,350ක් ලෙස එහි සඳහන්.

එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

මීට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමනාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතුයි.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවිය යුතු බවට අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා. 

මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙසයි පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් ලෙස ඉහළ නංවමින් මින් පෙරද ගැසට් නිවේදනයක් නිකුත් වූ අතර එම ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් පසුගිය ජූලි මස නිකුත් කෙරුණා.