Monday, November 18, 2024

General line - 0115112241

වැඩ බලන පොලිස්පතිවරයෙකු ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර




පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

ඒ, නීතිඥ ශාන් රණසුරිය විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වාදී ඇති බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති බැවින් තමන්ට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි එහි සඳහන්.

එහෙත් එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් ද පත්කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කර තිබෙනවා.

මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවයි පෙත්සමෙන් චෝදනා කර ඇත්තේ.

එබැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවද පෙත්සම්කරු චෝදනා කර තිබෙනවා.

මෙම ක්‍රියාව තුළින් ජනාධිපතිවරයා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින සුදුසු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන මෙන් ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ. 

මීට අමතරව සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.