මෙරට ගුවන් ගමන් පාලන කටයුතුවලට ඍජුව සම්බන්ධ වන රත්මලාන රේඩාර් පද්ධතිය හදිසියේ බිඳවැටී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධති දෙකක් ක්‍රියාත්මක අතර එක් පද්ධතියක් කටුනායකද අනෙක් පද්ධතිය රත්මලාන ගුවන් තොටුපළ ආශ්‍රිතව ද ක්‍රියාත්මකයි.
මෙරටට පැමිණෙන සහ රටෙන් පිටවන මෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් පාලනය වන්නේ මෙම රේඩාර් පද්ධතියෙන්.
එහිදී අඩි 15,000න් පහළ පියාසර කරන ගුවන් ගමන් කටුනායක හරහාද ඉන් ඉහළ පියාසර කරන ගුවන් ගමන් රත්මලානෙන්ද පාලනය වනවා.
ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමෙන් තොරව ශ්‍රී ලංකාව හරහා වෙනත් රටවලට පියාසර කරන ගුවන් යානා පාලනය වන්නේ රත්මලානෙන්.
රත්මලාන රේඩාර් පද්ධතිය හදිසියේ බිඳ වැටීමත් සමග මෙරට ගුවන් ගමන් පාලන කටයුතුවලට ගැටලුවක් මතුවන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ගොඩබැස්වීමෙන් තොරව ශ්‍රී ලංකාව හරහා වෙනත් රටවලට පියාසර කරන ගුවන් යානාවලට වෙනත් ගුවන් කලාපයක් සොයා ගැනීමට සිදුව ඇති බවද වාර්තා වනවා.
සාමාන්‍යයෙන් රේඩාර් පද්ධතියක් බිඳවැටුනහොත් සමස්ත ගුවන් ගමන් කලාපය වසා දැමිය යුතුයි.
එහෙත් කටුනායක ගුවන් ගමන් පාලකවරුන් විසින් තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ගුවන් තොටුපළ ආරංචිමාර්ග පවසනවා.
කෙසේවෙතත් මෙම බිඳවැටීම හේතුවෙන් මෙරට ගුවන් ගමන් කටයුතුවලට බාධා එල්ල වනු ඇති බවටයි වාර්තා වන්නේ.