Monday, November 18, 2024

General line - 0115112241

ජනපතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද




එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිදු කිරීමට නියමිතයි.

එම කටයුතු ආරම්භ වන්නේ පෙරවරු 09ටයි.

පෙරවරු 11 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදු වනවා.

නාම යෝජනා පත්‍රවලට විරෝධය දැක්වීම සඳහා පෙරවරු 11යි 30 දක්වා අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ. 

නාම යෝජනා භාර ගන්නා අද දිනයේ රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 1,000ක් පමණ යොදවන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පැවසුවේ.

අද දිනයේ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් රැසක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නාම යෝජනා භාර ගන්නා කාලයේදී වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන්ද පොලීසිය මෙහිදී අදහස් පළ කළා. 

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කළා.

ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 22කින් සහ ස්වාධීනව 17 දෙනෙකු ලෙසයි. 

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින ද මැතිවරණ කොමිසම විසින් ඊයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 04 වනදායි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 05 හා 06 යන දින දෙක වෙන් කර තිබෙනවා.