Monday, November 18, 2024

General line - 0115112241

අද සිට සැප්තැම්බර් 28 තෙක් පෙළපාළි තහනම්




2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබෙනවා.

එම කටයුතු අද පෙරවරු 09ට ආරම්භ වූයේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයී. 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් අද උදෑසනින්ම මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ සිටියා.

නාම යෝජනා භාර ගන්නා ස්ථානයට ඇතුළු වීමට අවසර ලැබුණේ අදාළ අපේක්ෂකයාට සහ ඔහුගේ පාර්ශවය නම් කරන ලද නියෝජිතයින් කිහිප දෙනෙකුට පමණයි.

ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක ඇතුළු මැතිවරණ කොමිසමේ නියෝජිතයින් සහභාගි සිටියා.

නාම යෝජනා භාර ගැනීමට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඊට අදාළ ක්‍රියාවලිය සියලු අපේක්ෂකයින්ට පැහැදිලි කිරීම සිදු කෙරුණා. 

විරෝධතා ගොනු කළ හැකි ආකාරය පිළිබඳවද මෙහිදී අපේක්ෂකයින් දැනුවත් කළා.

ඉන් පසු එක් එක් අපේක්ෂකයින් සහතික කරන ලද නාම යෝජනා පත්‍රය භාර දීම ආරම්භ කළා.

මැතිවරණ කාර්යාලයේ නියෝජිතයින් කිහිප දෙනෙකු හරහා නාම යෝජනා භාර ගැනීම සිදු වුණා.

ඒ, ඇති විය හැකි තදබදය අවම කිරීමේ අරමුණින්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ ඇතුළු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය නාම යෝජනා භාර දීම ආරම්භ කළේ ඉන් පසුවයි.

ඉන් අනතුරුව පෙරවරු 10යි 45ට විරෝධතා ගොනු කිරීමේ කාලය ආරම්භ වුණා.

විනාඩි 45කට පසු විරෝධතා ගොනු කිරීම අවසන් වුණේ අද පෙරවරු 11යි 30ටයි.

පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක විසින් මැතිවරණ නීති පිළිබඳ ජනාධිපති අපේක්ෂකයින් ඇතුළු නියෝජිතයින් දැනුවත් කළා. 

නාම යෝජනා භාර දීමෙන් පසුව සහ ජනාධිපතිවරණය අවසන් වී සතියක් යන තුරු පෙළපාළි තහනම් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පැවසුවේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දී ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට එම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හේතුවෙන් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය ආශ්‍රිතව පෙරවරු 08ට ආරම්භ වූ විශේෂ රථවාහන සැලැස්ම සවස 02 දක්වා ක්‍රියාත්මකයි. 

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ සජීවී දර්ශන ඇතුළත් සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් අපගේ යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.