2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද සිදු කෙරුණා.
ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.
ඒ අනුව, අද දිනයේ අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාර දුන් අතර එම 39 දෙනාගේම නාම යෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
නාම යෝජනා භාර ගැනීම අද පෙරවරු 09ට ආරම්භ වූ අතර පෙරවරු 11ට නාම යෝජනා භාර ගැනීම අවසන් වුණා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතව තිබූ කාලය ඊයේ මධ්‍යහ්න 12න් අවසන් වූ අතර, එම කාල සීමාව තුළ අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළා.
ඒ අතරින් අද දිනයේ නාම යෝජනා භාර දෙනු ලැබුවේ 39 දෙනෙකු පමණයි.
ඊයේ දිනයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න අද නාම යෝජනා භාර දුන්නේ නැහැ.
නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා තිබූ අතර එම කාලසීමාව තුළ විරෝධතා තුනක් ඉදිරිපත්ව තිබුණා.
කෙසේවෙතත් එම විරෝධතා තුනම ප්‍රතික්ෂේප කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක එහිදී ප්‍රකාශ කළේ.
ඒ අනුව ඉදිරිපත් වූ නාම යෝජනා සලකා බැලපීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් එම සියලු නාම යෝජනා පිළිගනු ලැබුවා.
ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් අද දිනයේ නාම යෝජනා භාර දුන් අනුපිළිවෙළ අනුව මෙලෙස ඉදිරිපත් කළා.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලෙස පිළිගත් 39 දෙනා පිළිගත් දේශපාලන පක්ෂ 22කින්, වෙනත් දේශපාලන පක්ෂ එකකින් සහ ස්වාධීන අපේක්ෂකයන් 16 දෙනෙකුගෙන් සමන්විත වනවා.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් මස 21 වනදා පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතයි.