Monday, November 18, 2024

General line - 0115112241

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් 27 දක්වා රිමාන්ඩ්

උදය කුමාර




ජනක රත්නායකට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් හය දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියම කළේ.

ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේමකුමාර  සහ සභාපති රුවන්තිලක පේදුරුආරච්චි ඇතුළු එම පක්ෂයේ විධායක සභිකයින් අට දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකාර ජනක රත්නායකට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි තුනක මුදලක් ඉල්ලා මෙම සැකකරුවන් විසින් රාජගිරියේ පිහිටි වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ දී එම මුදල් ලබාගත් අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළා. 

උපාය දූතයින් දෙදෙනෙකු යොදවා පුළුල් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළ එම නිලධාරින් රුපියල් 5,000 බැගින් වූ නෝට්ටු මිටි 60 කින් සමන්විත  මල්ලක් සැකකරුවන් විසින් පැමිණිලිකරුගෙන් ලබාගෙන එය ගණන් කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළා. 

මෙම සිද්ධියට අදාලව  වැදගත් ප්‍රකාශ කීපයක් සටහන් කර ගැනීමට ඇති බවත් ලේඛන ගණනාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්  ඒ අනුව විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කළා. 

තම සේවා දායකයින්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා වශයෙන් ජනක රත්නායක නම් කර තිබූ බවත් ඔහුට පූර්ණ සහය ලබාදීමට සැකකරුවන් එකඟ වී සිටි බවත් නීතිඥවරුන් සඳහන් කළා.

ඒ අනුව රට පුරා සංවිධාන කටයුතු ආරම්භ කරන ලෙස ජනක රත්නායක මෙම සැකකරුවන්ට දැනුම් දුන් බවත් ඊට අවශ්‍ය මුදල් තමන් ලබාදෙන බව පැවසූ බවත් නීතිඥවරුන් සඳහන් කළා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී  සැකකරුවන් විසින් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් කර නොතිබූ බවත් ඒ අනුව අල්ලස් කොමිසම ඉදිරිපත් කරන මෙම පැමිණිල්ල පදනම් විරහිත බවත් නීතිඥවරුන් පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ලේකම්වරයා හා සභාපතිවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

සෙසු සැකකරුවන්ව හය දෙනා රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.