Sunday, November 17, 2024

General line - 0115112241

සීනි ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගනී

ප්‍රගීත් ජානක




මෙරට නිෂ්පාදිත රතු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් ඉන්දියානු රතු සීනි ලෙස වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගෙන තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

කිලෝග්‍රෑම් 50 සීනි අසුරන හිස් ඇසුරුම් 2,500කට අධික ප්‍රමාණයක්ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයා කලක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සැක පළ කරන්නේ.

මෙලෙස රතු සීනි බවට පත් කරන ලද සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර ඇති අතර සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් ඔවුන් මිලදීගෙන ඇති බවටද සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

ඉන්දියානු රතු සීනි බවට පවසමින් සකස් කරන ලද එම සීනි, කිලෝ 50 මිටි ලෙස සකසා කොළඹ ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා සතියකට දෙවරක් ලොරි රථ මගින් සැකකරු විසින් ප්‍රවාහනය කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.

දෙනියාය ප්‍රදේශයේ පිරිසක් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණ මෙම ජාවාරම සිදු කර තිබෙනවා.

අදාළ ජාවාරම සිදු කළ ස්ථානය මුද්‍රා තැබූ බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා.