පොලිසිය කරන ලද වෙඩි තැබීමකින් බකමූණ, දමනයාය දම්පුර ප්රදේශයේදී සැරිසරමින් සිටි වනඅලියෙකු මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු තිස් පහක් පමණ වූ එක් ඇසක් නොපෙනෙන බවට විශ්වාස කරන “රාජා” නම් වූ වන අලියා බවටයි හඳුනාගෙන ඇත්තේ.
එම වන අලියාගෙන් කිසිදු පුද්ගලයෙකුට හිරිහැරයක් වී නොමැති බවද ප්රදේශවාසීන් පවසනවා.
බකමූණ පොලිසියේ රාජකාරී කටයුතුවලයෙදී සිටි පොලිස් නිලධාරින් තිදෙනකු පොලිසියේ ත්රී රෝද රථයෙන් එම ප්රදේශයේ මුර සංචාරයක යෙදී සිට තිබෙනවා.
එහිදී ත්රී රෝද රථයට එම වනඅලියා පහරදීමට උත්සාහ කළ බව පවසමින් පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව බකමූණ පොලිසිය පවසනවා.
මේ හේතුවෙන් ප්රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් අතර ඊයේ රාත්රීයේ උණුසුම් තත්ත්වයක් ද හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රාත්රී කාලයේම බැකෝ යන්ත්රයක් උපයෝගී කර ගනිමින් මිය ගොස් සිටි වන අලියාගේ සිරුර එම ස්ථානයේ සිට මීටර් පනහක් පමණ දුරකින් වෙනත් මාර්ගයකට තල්ලු කර දමා තිබුණු බවද ප්රදේශවාසීන් පවසනවා.
කෙසේවෙතත් වන අලියා වෙඩි තබා ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හබරණ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල පැවසුවා.
බකමූණ පොලිසියෙන් මේ පිළිබඳව විමසීමේදී එහි ස්ථානාධිපතිවරයා සඳහන් කළේ පොලිස් ත්රී රෝද රථයට වන අලියා පහරදීමට උත්සාහ කරන අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයෙකු ඉහළට තැබූ වෙඩිතැබීමක් වන අලියාට වදින්නට ඇති බවයි.
මියගිය වන අලියාගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වනජීවී නිලධාරීන් පැවසුවා.