Sunday, November 17, 2024

General line - 0115112241

ඉඳුරුවේදී ලොරි රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට.

ඕෂධ ගමරත්න 




කොස්ගොඩ, ඉඳුරුව සුදුවැලිපොත දුම්රිය හරස් මාර්ගයේ දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බෙලිඅත්ත සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක ලොරි රථයක් ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් දෙදෙනා ඒ ආසන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වනවා.

කුරුඳු දර පටවාගෙන ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ලොරි රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. 

දුම්රිය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ එම ස්ථානයේ සවිකර තිබූ දුම්රිය හරස් මාර්ග ආලෝක සංඥා අක්‍රීයවී තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් අනතුරින් දුම්රිය හරස් මාර්ග ආලෝක සංඥා කණුවකට ද දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි. 

මේ අතර කඳාන, වැලිගම්පිටිය හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් තිදෙනා වැලිගම්පිටිය දෙස සිට කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය දෙසට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී එය නවතන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් අණ කර තිබෙනවා.

එහෙත් පිටුපස අංක තහඩුද නොමැති එම යතුරු පැදිය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට එම යතුරු පැදිය පිවිසීමේදී මීගමුව දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.

එම යතුරු පැදියේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හිස් වැසුම් පැළඳ නොසිටි බවද පොලිසිය පැවසුවා.

ඔවුන් දෙදෙනා අනතුර සිදුවීමෙන් පසු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.