Sunday, November 17, 2024

General line - 0115112241

අර්බුදය නිසා බංග්ලාදේශයට ක්‍රිකට් ලෝක කුසලානය නැති වෙයි




2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය බංග්ලාදේශයේ නොපැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැන් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ බංග්ලාදේශයේ සත්කාරකත්වට එලෙසම පවතිද්දී තරඟාවලියේ තරඟ පැවැත්වීම පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යන බවයි.

ඒ අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් 03 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

ඉකුත් ජුලි සහ අගෝස්තු මාසවල බංග්ලාදේශයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණා.

දැන් බංග්ලාදේශයේ පවතින්නේ අන්තර්වාර ආණ්ඩුවක්.

වාර්තාවන ආකාරයට 2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සිය රට තුළ පැවැත්වීමට බංග්ලාදේශ රජය උත්සහ දරා තිබෙනවා.

එහෙත් ඇතැම් රටවල් පනවා ඇති සංචාරක සීමා හේතුවෙන් එය වෙනස් කිරීමට හේතු වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

ඕස්ට්‍රේලියාව , ඉන්දියාව, නවසීලන්තය සහ එංගලන්තය සහ ස්කොට්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් මෙලෙස සංචාරක උපදේශන නිකුත් කර තිබුණා.

බොහෝ රටවල් දන්වා තිබුණේ සිය පුරවැසියන්ට බංග්ලාදේශයට නොයන ලෙසටයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන රටවල ලෝක කුසලානය පැවැත්වීමටයි යෝජනා කර තිබුණේ.

පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මීට පෙර 2021 වසරේදී පිරිමි පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වුණා. ඒ, ඕමානයේ සත්කාරකත්වයෙන්.