වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් උණුසුම් වූ ඉන්දියාවේ යළිත් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව තිබෙනවා.
ඒ, බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පාසල් ළමුන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින්.
ඉන්දියාවේ තානේ දිස්ත්‍රික්කයේ බද්ලාපූර් නගරයේ පිහිටි පාසලක වැසිකිළියක් භාවිතා කිරීමට ගිය අවස්ථාවේදී මෙම දැරියන් අපයෝජනයට ලක්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේම සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත් නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූ බව පවසමින් දෙමාපියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් විශාල පිරිසක් දුම්රිය ස්ථානයකට රැස්ව සිය විරෝධය පළ කර ඇති බවයි.
ළමයින්ට යුක්තිය ඉල්ලා කෝපයට පත් විරෝධතාකරුවන් දුම්රිය මාර්ග අවහිර කිරීම හේතුවෙන් බද්ලාපූර් දුම්රිය ස්ථානයේ දුම්රිය සේවා ද නතර වී තිබෙනවා.
ඇතැම් විරෝධතාකරුවන් පොලිසියට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි සඳහන්.
පාසලේ ක්‍රියාකාරී මට්ටමේ තිබූ සීසීටීවී කැමරා පද්ධතියක් නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම පාසල තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා, පන්ති භාර ගුරුවරියක සහ සේවිකාවකගේ වැඩ තහනම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස යළි ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ වී ඇත්තේ බෙංගාල ප්‍රාන්තයේ පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මතුවූ දැඩි විරෝධය හමුවේයි. 31 හැවිරිදි එම කාන්තාවගේ මළසිරුර ඉකුත් දා සොයා ගත්තේ ඇය සේවය කළ කොල්කටාහි රජයේ රෝහලක සම්මන්ත්රණ ශාලාවේ තිබීයදීයි.