ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
බදුල්ල පොලිස් ස්ථානයට ඇතුළු වී පොලිස් නිලධාරින්ට බැන වැඳී අත්අඩංගුවේ සිටි පිරිසක් මුදවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවා.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් පක්ෂය ප්‍රවර්ධනය කරන ටී ෂර්ට් පැලඳ බදුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට සිටි කාන්තාවන් 07 දෙනකු ඇතුළු 34 දෙනකු බදුල්ල පොලිසිය විසින් පසුගියදා අත්තඅඩංගුවට ගනු ලැබුවා.
ඒ, මැතිවරණ නීති උල්ලංඝනය කළා යැයි පවසමින් මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
එම අත්අඩංගුවට ගත් පිරිස සිය ආධාරකරුවන් යැයි පවසමින් රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල පොලිසියට ගොස් අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් තොරතුරු විමසා ඇති බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහ බදුල්ල පොලිස් නිලධාරින් අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වුණා.
අදාළ සිද්ධිය සිදු වූ අවස්ථාවේදී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කරන ලද වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණ වුණා.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාද හමුවී සාකච්ඡා කර ඇති අතර පසුව සහකාර කොමසාරිස්වරයා එම පිරිස මුදාහරින ලෙස උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.
නීතියට අනුව කටයුතු කරන ලෙසයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සියලුම දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේ.