Tuesday, December 24, 2024

General line - 0115112241

මහමැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි - මාලිමාවට ආසන 159ක් හිමිවෙද්දී සජබයට ආසන 40ක්




2024 මහමැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය හිමි කර ගත් ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ 63,186ක්.

එම පක්ෂය ආසන 141ක් හිමි කර ගත්තා. ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් සමගින් ජාතික ජන බලවේගයට හිමි වූ සමස්ත ආසන ගණන 159ක්. ඡන්ද දහනව ලක්ෂ 68,716ක් හිමි කර ගත් සමගි ජන බලවේගයට ආසන 35 ක් හිමි වුණා.

ඒ අනුව එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05ක් සමග හිමිවූ ආසන සංඛ්‍යාව 40ක්. 

ඉලංකෛ තමිල් අරුසු පක්ෂය ඡන්ද දෙලක්ෂ 57,813ක් හිමි කරගනිමින් ජාතික ලැයිස්තු එක් මන්ත්‍රීධුරයක් සමග ආසන 08ක් හිමි කර ගෙන තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර මහමැතිවරණයේදී ඡන්ද පන් ලක්ෂ 835ක් හිමි කර ගත්තා. එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් සමගින් හිමිවූ ආසන ගණන 05ක්. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මහමැතිවරණයේදී ඡන්ද තුන් ලක්ෂ 50,429ක් හිමි කර ගත්තා. ඒ අනුව එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සමගි හිමි වූ ආසන ගණන තුනක්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමග ආසන තුනක් හිමි වුණා. එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 87,038ක්.

ඡන්ද එක් ලක්ෂ 78,006ක් ලබා ගත් සර්වජන බලයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා. 

මේ අතර ඡන්ද 66,234ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමිව තිබෙනවා.

ඊට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, අකිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය, යාපනය ස්වාධීන කණ්ඩායම 17 සහ  ශ්‍රී ලංකා කම්කරු පක්ෂය එක් ආසනය බැගින් හිමි කර ගත්තා.