Thursday, December 26, 2024

General line - 0115112241

ගාසා තීරය ලොව අනාරක්ෂිතම ස්ථානය බව ජගත් සංවිධාන නියෝජිතයෙකු කියයි




ගාසා තීරය ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගාසා තීරයේ ආධාර හා අනෙකුත් කටයුතු අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන සිග්රිඩ් කාග් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බවයි.

ඇය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉතා අඳුරු සහ ඛේදනීය එකක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද ඇය පවසා සිටියේ මේ වනවිට ගාසා තීරයට ගොඩබිම් සහ මුහුදු මාර්ග කිහිපයක් ඇතුළුව ආධාර සැපයීමේ පද්ධති දැන් ක්‍රියාත්මක වුවත් මිනිසුන් දවසින් දවස තම ජීවිත පිළිබඳ අවදානමකට ලක් වෙමින් පවතින බවයි.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ උතුරු ගාසා තීරයට යන එහි තවත් ආධාර රථ පෙළක් ඊශ්‍රායල හමුදා විසින් අවහිර කළ බවයි.

මේ වනවිට ගැටුම් හේතුවෙන් ගාසාහි පුද්ගලයන් හතලිස් එක්දහස් 206 දෙනෙකු මියගොස් තවත් අනූ පන්දහස් 337 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.