බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනිත් මදුසංක නොහොත් “පොඩි ලැසි” සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
සැකකරු වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිතා කරමින් මෙරට සැඟව සිට අපරාධ රැසකට සුදානම්ව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව සිදුකල මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 6 ක් සොයාගත බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු පොඩි ලැසිගේ සහ මීටියාගොඩ දසුන්ගේ මාමා වන බව එහිදී ආනාවරණ වී තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මේ අතර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සගවා තිබූ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගහවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන සමීපතමයෙකු වන විදේශ රටක සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන තොටළග චානාගේ සාමාජිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.