Thursday, November 7, 2024

General line - 0115112241

ත්‍රීවිල් සහ පාසල් බස් රථ, වෑන් රථ ගාස්තු වෙනසක් නැහැ




ඉන්ධන මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුද සංශෝධනය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සියයට 4යි දශම 2යි 4කින් එලෙස බස් ගාස්තු සංශෝධනය කරන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ.

අවම බස් ගාස්තුව රුපියලකින් අඩුවන අතර එහි නව බස් ගාස්තුව රුපියල් 27ක් වනවා.

රුපියල් 2,267ක් වන වැඩිම බස් ගාස්තුව රුපියල් 2,170ක් දක්වා අඩුකරන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ.

කෙසේවෙතත් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පැවසුවේ ගාස්තු පහළ දැමීමට තරම්  ඉන්ධන මිල සංශෝධනයක් වී නොමැති බවයි.

ඒ අනුව මෙම අවස්ථාවේ පාසල් බස් සහ වෑන් රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව එම සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවා.

ත්‍රීරෝද රථ ගාස්තු පහළ  දමන්නේ දැයි නෙත් නිවුස් ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරාගෙන් විමසීමක් කළා.


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් පහළ දැමුණා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ එම පෙට්‍රල් ලීටරය ද නව මිල වන්නේ රුපියල් 311ක වන බවයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 377කට තවදුරටත් අලෙවි වනවා. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 283ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 33කින් පහළ දැමුණා.

එහි නව මිල රුපියල් 319ක්. ලංකා භූමිතෙල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 19කින්.

එහි නව මිල රුපියල් 183ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කළ පරිදි ලංකා අයි ඕ සී සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනය කළා.