ඊශ්‍රායලය ඉලක්ක කර පෙර නොවූ විරූ ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් තිබුණද කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ඉන් කිසිම බලපෑමක් සිදුව නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඊශ්‍රායලයේ සිටින සියලුම විදේශිකයින් මේ වන විට ආරක්‍ෂිත බවයි.
ශ්‍රී ලාංකිකයින් කෙරෙහි ඊශ්‍රායලයේ විශේෂ සැලකිල්ලක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ වන විට මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය ලෝක දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් ඇති බවයි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම එම කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම විහිදී යන තත්ත්වයක් මතුවෙමින් ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවා සඳහන් කළේ.
ඒ, අමෙරිකාව, ඉන්දියාව, චීනය සහ රුසියාව ද මෙම ගැටුමට සම්බන්ධ වීමට ඇති වැඩි ඉඩකඩ සැලකිල්ලට ගනිමින්.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ මැද පෙරදිග ගැටුම වර්ධනය වුවහොත් සමස්ත ලෝකයේම තත්ත්වය වෙනස් වීමේ හැකියාවක් පවතින බවයි.
අන්තර්ජාතික තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසුවේ මැදපෙරදිග අර්බුදය උත්සන්න වීමෙන් ඉන්ධන මිලෙහි ඇති වන බලපෑම සමස්ත ලෝකයේම පැවැත්ම තීරණය කරනු ඇති බවයි.