Wednesday, December 25, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ, ලෙබනන් ආක්‍රමණය දැඩි කෙරේ




ලෙබනනයේ සිදු කරන ඊශ්‍රායල් ආක්‍රමණය තවදුරටත් දැඩි කර තිබෙනවා.

ඒ, භූමියෙන් සිදු කරන ආක්‍රමණය සඳහා තවදුරටත් අතිරේක භට කණ්ඩායම් යොමු කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ දිනයේදී ලෙබනනයේ නිරිතදිග ප්‍රදේශයට අලුතෙන් ඊශ්‍රායල් හමුදා සාමාජිකයින් දහස් ගණනක් යොමු කර තිබෙනවා.

ඊශ්‍රායලය එම ප්‍රදේශය ආක්‍රමණය ආරම්භ කළේ පළමුවරටයි. 

මේ අතරතුර ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලෙබනන් ජනතාවගෙන් විශේෂ ආයාචනයක් සිදු කර තිබෙනවා.

ඒ, ගාසා තීරයේ ඇති විනාශය සහ දුක් වේදනා වළක්වා ගැනීමට හිස්බුල්ලා සංවිධානය පළවා හරින ලෙසයි.

යුද්ධය අවසන් කිරීමට හැකි වන පරිදි රට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් නිදහස් කර ගැනීමේ අවස්ථාව පවතින්නේ රට වැසියන්ට බවයි ඊශ්‍රායල් අගමැතිවරයා පවසා ඇත්තේ. 

ඊශ්‍රායල් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධනයේ හිටපු නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා ඝාතනය කළ බව පැවසුවද එය තහවුරු කිරීමට මෙතෙක් තොරතුරු නොමැති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්‍රායලයේ ඉලක්ක වෙත එල්ල කරන ගුවන් ප්‍රහාරද මෙතෙක් අවසන් කර නැහැ. 

ඊයේ දිනයේදීද ඊශ්‍රායලයේ හයිෆා වරාය නගරය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඒ, අඛණ්ඩව තුන් වන දිනටයි. එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව 12ක්.