Wednesday, November 6, 2024

General line - 0115112241

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන වත්මන් රජයේ තීරණය නිතිපති, ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි




මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අදාළ ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම් දීම සිදුකළා.

අදාළ පෙත්සම් අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී  අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.

ඇය එහිදී කියාසිටියේ මේ මස 07 වනදා යෝජිත සුලං බල ව්‍යාපෘතිය පිළිබඳව යළි  කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය අදානි සමාගම අතර ඇතිකරගත් ගිවිසුමේ අන්තර්ගත කරුණු සහ පෙත්සම්වල අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි කරුණු සලකා බැලීමට නියමිත බවත් ඉන් අනතුරුව ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය සඳහන් කළා.

වත්මන් අන්තර් වාර  අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය පැවසුවා.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාලව ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියා.

යෝජිත සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට නි්යමිත ප්‍රදේශය හරහා ශ්‍රී ලංකාව තුළට සංක්‍රමණික පක්ෂීන් පිවිසෙන ප්‍රවේශ මාර්ගය පිහිටා ඇතැයි පෙත්සම්රුවන් පෙන්වා දෙනවා.  

අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් පක්ෂීන්ගේ ජීවිත අනතුරට ලක්වී පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවිය හැකි බවත් ඔවුන් සඳහන් කළා. එසේම විශාල පක්ෂීන් සංඛ්‍යාවක් මිය යෑම මෙන්ම තුවාල වීමද මේ හරහා සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් පවසනවා.

ඉන් අනතුරුව අදාල පෙත්සම් මාර්තු මස 18 සහ 19  යන දිනවල කරුණු සලකා බැලීම  සඳහා කැඳවන බවත් අධිකරණය නියෝග කළා.