Wednesday, November 6, 2024

General line - 0115112241

ජම්පරය හිමි වූ අර්ජුන් ඇලෝෂියස් වැලිකඩ නවක රැඳවියන්ගේ වාට්ටුවක

උදය කුමාර




සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ නවක සිරකරුවන් රඳවා සිටින සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ පස්වරු 06.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ ඔවුන් දෙදෙනාට සිරකරුවන්ට ලබාදෙන ජම්පර ලබාදී ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඒ අනුව අද දිනයේ ඔවුන් සිරකරුවන් ලෙස ලියාපදිංචි කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා. 

සිරකරුවන් වන ඔවුන් දෙදෙනා බැලීමට පවුලේ ඥාතීන්ට අවස්ථාව පවතින්නේ මසකට එක්වරක් පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියකට අදාළවයි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඬුවම් නියම කළේ.

ඒ, 2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3 යි දශම 5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීමට අදාළවයි. 

වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා අධිකරණයේ පෙනී නොසිටි අතර  ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කෙරුණා.

තමන්ට නියම වී ඇති මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා  අර්ජුන් ඇලෝෂියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය ද  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.