දිවයිනේ විවිධ ප්‍රදේශවල ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝව වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පොලිසිය පැවසුවේ කිසියම් පිරිසක් විසින් ඩිපෝ 09 කට පමණ දුරකථන ඇමතුම් ලබාදී එලෙස මුදල් වංචා කර ඇති බවයි.
ඒ, එම ඩිපෝවල කළමනාකරු, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් යම්කිසි ස්ථානයක හදිසි ආපදාවට ලක්වී සිටින බවට වංචාකරුවන් දුරකථනය හරහා දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අදාළ නිලධාරින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් පැමිණි වාහනය අලුත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අවශ්‍ය බවත් එම මුදල ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ එවන ලෙසත් දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් දැනුම්දී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඇතැම් ඩිපෝ මඟින් එලෙස මුදල් ලබාදී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
ඇතැම් විට මෙම දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයින් ගරාජයක හිමිකරුවෙකු නැතහොත් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු හෝ වෙනත් විශේෂිත පුද්ගලයෙකු ලෙස හඟවමින් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව මෙවැනි ඇමතුම් ලබාදෙන දුරකථන අංක පිළිබඳ පරීක්ෂා කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම අංක මියගිය පුද්ගලයින් හෝ විදේශිකයින් ආශ්‍රිතව ලබාගත් සිම් කාඩ්පත් බවටයි.
එමෙන්ම එම සැකකරුවන් බොහෝ විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවත් මෙය සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියාවක් බවත් නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව එවැනි දුරකථන ඇමතුමක් ලැබුණහොත් කෙසේ හෝ එම ආපදාවට ලක් වූ බවට සඳහන් පුද්ගලයින් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන එහි සත්‍යතාව තහවුරු කරගන්නා ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ.
එමෙන්ම මෙවැනි වංචා ක්‍රියාවන්ට හසු නොවන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.