Monday, November 4, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට එරෙහිව පෙත්සමක්

උදය කුමාර




පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු වන එච්. එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළා. 

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව නාම යෝජනා කැඳවීමට ඔක්තෝබර් මස 04 වනදා සිට ඔක්තෝබර් මස 11 වන දා දක්වා දින නියම කළ බවයි. 

මැතිවරණ පනත ප්‍රකාරව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා. 

ඒ අනුව නාම යෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වනදා සිට සති පහක කාලය  නොවැම්බර් මස 15 වනදා අවසන් වන අතර සති හතක කාලය නොවැම්බර් මස 29 වනදා සම්පූර්ණ වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් වර්තමානයේ පාර්ලිමේන්තු ඡන්ද විමසීම නියම කර තිබෙන නොවැම්බර් මස 14 වනදා එම නීතිමය කාලසීමාවට ඇතුලත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු ඡන්ද විමසීම පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා. 

මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළත් ඉන් පලක් අත් නොවූ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා. 

මේ තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදුවන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම අදාළ වරද නිවැරදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම් එවැනි නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.