Monday, November 4, 2024

General line - 0115112241

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට අත්හැර දැමූ ක්‍රමයක් දුම්රිය දෙපාර්තමේන්තුව යළි ක්‍රියාවට නංවයි




දුම්රියවල ගැටී සිදුවන වන අලි මරණ අවම කර ගැනීම සඳහා, වන අලින් බහුලව ගැවසෙන ප්‍රදේශ හරහා ගමන් කරන දුම්රියන්වලට වනජීවී නිලධාරීන් යොමු කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

පසුගිය කාලය තුළ මෙම ක්‍රමවේදය අත්හදා බැලීම තුළින් එවැනි අනතුරු අවම කර ගැනීමට හැකි වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ. 

දුම්රිය ගමන් කරන අවස්ථාවේදී වනජීවී නිලධාරියෙකු විසින් වන අලින් බහුලව ගැවසෙන ප්‍රදේශ සහ වේලාවන් පිළිබඳව දුම්රිය රියදුරා දැනුවත් කිරීම තුළින් එම අනතුරු අවම කර ගැනීමට හැකි වූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේවෙතත් පසුගිය කාලයේ එම ක්‍රමවේදය නවතා දැමීම තුළින් දුම්රියවල ගැටී මියයන වන අලින් ප්‍රමාණය වැඩිවී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා.


පසුගියදා කොලොන්නාව සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වුණා.    

ඒ, එම දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන්. එහිදී වන අලින් දෙදෙනෙකු මිය ගිය අතර තවත් කුඩා වන අලි පැටියෙකු තුවාල ලැබුවා. 

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක්ද පසුගියදා අවලංගු කෙරුණා. 

කෙසේවෙතත් දුම්රිය එන්ජින් රථ රියදුරන් චෝදනා කළේ අනතුර සිදු වූ දුම්රිය මාර්ගයේ අදාළ ස්ථානය අබලන් තත්ත්වයේ පැවති බවයි. 

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතාගෙන් විමසීමක් කළා.