2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
ඒ, අදාළ පෙත්සම් එස්. තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කොට එය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ ජුනි මස 17 වන දා කැඳවන ලෙසත් නියෝග කළා.
සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස කුරුදුවත්ත, මරදාන සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.
2022 වසරේ අරගලයෙන් පසුව කොළඹ ප්‍රදේශයේ අධි ආරක්ෂක කලාප කීපයක් ස්ථාපිත කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට විරෝධය පා සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් එම වසරේ සැප්තැම්බර් මස 27 වන දා මරදාන ප්‍රදේශයේ විරෝධතාවක් දියත් කළ බවත් ඊට පොලිස් නිලධාරීන් විසින් පහරදී විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබෙනවා.
ඉන් අනතුරුව ඊට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහළ බවත් පැවසෙනවා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.