ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරුවේ පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර තිබෙනවා.
අද පස්වරු 02යි 56ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ කේ 131 දරන ගුවන් යානය තුළ බෝම්බයක් ඇති බවටයි එම තොරතුර ලැබී තිබුණේ.
මේ වනවිට ආරක්ෂක අංශ එම ගුවන් යානය පරික්ෂාවට ලක් කරමින් සිටින බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු රැඳී සිට තිබෙනවා.
පසුගිය 19 වනදාද මෙම ගුවන් යානයේම බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේදී හදිසි පරික්ෂාවකට ලක් කෙරුණු අතර එහි පුපුරණ ද්‍රව්‍ය හෝ බෝම්බ කිසිවක් නොතිබුණු බවට තහවුරු කෙරුණා.