මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වන විට ගෙන ඇති බව රජය පවසනවා.
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නොවන බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාවට යම් යම් බාධා ඇතිවිය හැකි බවට ලැබී තිබූ තොරතුරු අනුව මෙම මස මුල සිටම සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල ආරක්ෂාව තර කළ බවයි අමාත්‍ය විජිත හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
විදේශ බුද්ධි අංශ මගින් පෙරේදා පස්වරුවේ ලද තොරතුරු අනුව ආරක්ෂාව තවදුරටත් තර කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
පවත්නා තත්ත්වයන් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද දැනුවත්කිරීම් සිදු කළ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව සැකකරුවන් තුන් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
දින කිහිපයක් ඇතුළත මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ගත හැකි බවත් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදන ඉවත් කර ගත හැකි බවටත් අමාත්‍ය විජිත හේරත් මහතා විශ්වාසය පළ කළා.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් ලැබී ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.