ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද සිදු වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතාගේ උණුසුම් සුබපැතුම් පිළිගැන්වූවා.
ඉන් අනතුරුව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා සමග කෙටි කතා බහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර මෙරටට පැමිණ සිටින සංචාරකයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් ලක් කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට සහාය ලබා දෙන බව ද දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් මහත්මිය අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී අද සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහිදී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බවයි පෙන්වා දුන්නේ.
මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී අද සිදු වුණා.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම මෙරට ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා.