Saturday, November 2, 2024

General line - 0115112241

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳන්න ගත යුතු කඩිනම් පියවර ජනපති නිලධාරීන්ට කියයි




සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ  වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදීයි.

එහිදී සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.  

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් අතර සාකච්ඡාවක්ද ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්වුණා.

සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජයේ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා  රජය විශාල මුදලක් වැය කරනු ලබනවා.

ඒ අනුව ජනතාවට සහල් සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ද සමාජයීය වගකීමක් පැවරෙන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. 

සහල් පාලන මිල වැඩි කරමින්, අසාධාරණ ලෙස  ලාභ ලැබීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.