පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැමියා සමග කලක සිට පැවති පවුල් ආරවුලක් සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ විසින් කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පැමිණිල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා එම සැමියා සහ අදාළ කාන්තාව කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත කැදවූ තිබූ බවයි පොලීසිය පැවසුවේ.
ඉන් අනතුරුව එම විමර්ශන නිසි අයුරින් සිදු නොවුන බවට චෝදනා කරමින් අදාළ කාන්තාව විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම පොලිස් පරීක්ෂකවරයා කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට එම අවස්ථාවේ පැමිණ අදාළ කාන්තාවගේ සැමියාට පහරදි ඇති බවයි වාර්තා වුණේ.
එම කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් විසින් එම පහරදීම වළක්වා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.
පසුව පහර කෑමට ලක් වූ අදාළ සැමියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් කුලියාපිටිය අධිකරණයටද කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.
එවන් පසුබිමක් තුළ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අසනීප නිවාඩු වාර්තා කර ඇති බවයි වාර්තා වුණේ.
කෙසේවෙතත් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ අතර උපපොලිස් පරීක්ෂකවරයෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් පමුණුගම පොලීසිය ඉදිරිපිට ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
පසුගිය ඉරිදා දින බෝපිටිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.