Monday, December 23, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් ආර්ථිකයේ පෙර නොවූ විරූ පෙරළියක්




අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරු වී තිබෙනවා.

එරට කොටස් වෙළදපොළ ඊයේ රාත්‍රිය වන විට වාර්තාගත අගයකින් ඉහළ යාමද ඊට එක් නිදසුනක්.

අමෙරිකානු කොටස් වෙළදපොළ මෙලෙස වාර්තාකර ඇත්තේ එරට ඉතිහාසයේ ඉහළම අගයයි.

එමෙන්ම වසර 08කට පසු අමෙරිකානු ඩොලරය වාර්තාකළ වැඩිම අගයද මේවන විට වාර්තා කර තිබෙනවා.

මීට අමතරව, අන්තර්ජාල ගණුදෙනුවල ප්‍රකට බිට්කොයින් සඳහාද ඉතිහාසයේ ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ක්‍රිප්ටෝ මුදල් සඳහා ප්‍රමුඛත්වය දෙන බවට ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවෙන් පසුවයි.

ට්‍රම්ප් ජයග්‍රහණය කළ බවට වාර්තා පළවීමත් සමග අමෙරිකාවේ පමණක් නොව ලොව පුරා වෙලඳපොළවළ සහ මුදල් ඒකක තියුණු ලෙස වෙනස් වුණා.

ඒ අනුව පවුම්, යුරෝ සහ ජපන් යෙන් ඇතුළු විවිධ මුදල් ඒකක රැසකට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුවම මැදිහත් වූ ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස් අගයද මේවන විට ඉහළ යමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත්, ආයෝජකයින් පවසන්නේ ට්‍රම්ප්ගේ බදු කපා හැරීමේ සහ තීරුබදු ඉහළ නැංවීමේ සැලැස්ම හේතුවෙන් එරට උද්ධමනය ඉහළ යනු ඇති බවටයි. මේ අතර, මේ වන විට ලොවපුරා කාගේත් කතාබහට ලක්ව ඇත්තේ අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට දෙවන වරටත් පැමිණෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුවිශේෂි ජයග්‍රහණයයි.

එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් සමග පැවති තියුණු සටනකින් පසු මැතිවරණය ජයගනිමින්.

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය සදහා අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 186ක් සුදුසුකම් ලබා සිටියා.

අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ඡන්ද ප්‍රතිඵල ප්‍රාන්ත මට්ටමින් නිකුත් වූ අතර සෑම ප්‍රාන්තයකටම ජන අනුපාතයට අනුව නිශ්චිත නියෝජිතයන් සංඛ්‍යාවක් එම ඡන්ද විද්‍යාල සඳහා පත් වීම සම්ප්‍රදායයි.

ඒ අනුව වැඩිම ඡන්ද විද්‍යාල දිනාගන්නා අපේක්ෂකයාට සමස්ත ප්‍රාන්තයේ ජය හිමිවනවා.

අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ප්‍රාන්ත පනහේ ඉලෙක්ටෝරල් කොලේජස් හෙවත්, ඡන්ද විද්‍යාලයන්හි සමස්ත ඡන්ද සංඛ්‍යාව වන 538න් ඡන්ද විද්‍යාල 279ක බහුතර බලයක් ලබා ගනිමින් ට්‍රම්ප් ජය ගත්තා.

එහි ජයග්‍රාහී සීමාව ඡන්ද විද්‍යාල 270යි. වසර 120කින් අනතුරුව පරාජිත ජනාධිපතිවරයෙක් නැවතත් අමෙරිකාවේ බලයට පැමිණි පළමු අවස්ථාව ද මෙයයි.

කෙසේ වෙතත්, 47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් දිවුරුම්දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 20 වනදායි.

එමෙන්ම, මේ වන විට 78 වැනි වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකානු ඉතිහාසයේ, වයස්ගතම ජනාධිපතිවරයා ද වනු ඇති.

ඔහුගේ උප ජනාධිපති ලෙස ජේ ඩී වෙන්ස් පත්කරනු ඇතැයි වාර්තාවන අතර එසේ වුවහොත් 40 හැවිරිදි ඔහු එරට තුන්වන ලාබාලතම උප ජනාධිපති වනවා.