Tuesday, December 24, 2024

General line - 0115112241

බස්නාහිර උපකාර පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි




බස්නාහිර පළාත් ගුරුවරුන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අත්හිටුවා තිබෙනවා. 

ඒ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ නියෝගයක් මතයි. 

උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබුණේ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින්. 

එම චක්‍රලේඛය තවදුරටත් අධ්‍යයනය කර ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයේ සඳහන් බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ. 

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන් ගත යුතු ඉතා වැදගත්, පරිපාලනමය තීරණ තිබියදී ඇතැම් අධ්‍යාපන බලධාරින් මෙවැනි පියවර ගැනීම ගැටළුසහගත බවයි.

මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩයිම් වැඩසටහනට අදාල මොඩියුල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

පසුගිය කාලය තුළ ගුරු විදුහල්පතිවරු සමඟ මොඩියුල සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා සියල්ල කඩ කරමින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබූ බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.