කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ මූල්‍ය ආයතනය තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදලක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළේදී සැකකාර අඹුසැමි යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
52 හැවිරිදි සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර දිවයිනෙන් පළා ගොස් තිබුණා.
ඔහු අලුයම 12ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු කැටුව යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි, එම මූල්‍ය සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ සැකකරුගේ බිරිඳද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
“ජෙඩ්සීස් බිස්නස් ස්කූල්” නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500ක ගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර යුවළ විසින් කුරුණෑගල නගර මධ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම, එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් මිළ දී ගැනීම සහ මෙරට ප්‍රධාන බැංකු 03ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගොස් ඇති බවට බවට අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා කොළඹ, කොටුව මූල්‍ය සහ වානිජ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගිය බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ඊට අමතරව නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය වෙතද සැකකාර අඹුසැමි යුවළ රැගෙන යාමට නියමිතයි.