Wednesday, January 15, 2025

General line - 0115112241

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට රවීගේ නම යැව්වාට විරෝධය




නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සදහා එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින්. පසුගියදා පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට ඡන්ද පන් ලක්ෂ 835 ක් ලැබී තිබුණා.

ඒ අනුව එම පක්ෂයට ආසන 03 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02 ක් හිමි වුණා.

කෙසේවෙතත් සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නමක් මෙතෙක් යොමුකර නැහැ.

මේ අතර රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02 සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ අද පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබුණා.

එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.