Wednesday, January 15, 2025

General line - 0115112241

ලොහාන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ පෙත්සම දෙසැම්බර් 09 වනදා කැඳවීමට නියෝග

උදය කුමාර




මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ වාහනයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල  කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම  නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න මහතා විරුද්ධය පළ කළා.

ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව නොවැම්බර්  මස 29 වනදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියෝග කළ අභියාචනාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 9 වනදා කැඳවන ලෙස නියෝග කළා.