Tuesday, January 14, 2025

General line - 0115112241

පළමුවරට පාර්ලිමේන්තුවට ගිය අශෝක රංවල කතානායක පුටුවට




දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ කටයුතු අද පෙරවරුවේ චාම් අයුරින් ආරම්භ වුණා. 

ඒ සඳහා සහභාගී වන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ සිටම පාර්ලිමේන්තුවට පැමිණෙනු දැකගත හැකි වුණා. 

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණා.

ඒ අනුව පෙරවරු 9යි 55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වුණේ. පළමුව සිදු කෙරුණේ දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් පිළිගැනීමයි. 

අනතුරුව නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා අද තෝරා පත් කර ගැණුනා. 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථීර කළා. 

ඒ අනුව ඒකමතික යෝජනා ස්ථීරත්වයෙන් ඔහු කථානායකවරයා ලෙස නම් කෙරුණා. 

රසායනික ඉංජිනේරුවරයෙක් වන අශෝක රංවල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තු වරම් දිනා ගත්තා.

සියලු මන්ත්‍රීවරුන් එකවර දිවුරුම් දීම ඉන්පසුව සිදු වුණා.

පසුව කතානායකවරයාට සුබපැතුම් එක් කළ අතර පළමුව අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි.

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාද සභාව ඇමතුවා.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි මහතා පත්කෙරුණි. 

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාවෙන් හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ස්ථිරත්වයෙන්.

නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර මහත්මිය පත්කර ගැණුනා. 

ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර ඇති බව කතානායකවරයා පසුව දැනුම් දුන්නා. 

විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බවයි කථානායකවරයා පැවසුවේ. 

මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදු වූ අතර පෙරවරු 11.10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.