Monday, January 13, 2025

General line - 0115112241

උසස් පෙළ විභාගයට එරෙහිව පෙත්සමක්

උදය කුමාර




මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. 

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම විභාගය අද දින පෙරවරුවේ ආරම්භ වූ බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සංශෝධනය කොට කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. 

එම අවස්ථාවේදී  වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදී ගොනු කිරීමට නියමිත සංශෝධිත පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය තමන් රඳවා ගන්නා බවයි. 

ඒ අනුව සංශෝධිත පෙත්සමක් ගොනු කිරීමට අවසර දුන් අධිකරණය අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. 

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඒ .එම්. හංසනී කවිෂා අලහකෝන් නමැති ශිෂ්‍යාවක් විසින්. 

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. 

පෙත්සම්කාරිය කියා සිටින්නේ 2023 වසරේ නොවැම්බර් මස 29 වනදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව 2024 වසරේ අධ්‍යයන වර්ෂය රජයේ පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල් හා පිරිවෙන්  දින 170 ක් පැවැත්විය යුතු බව දක්වා ඇති බවයි. 

එහෙත් එම දින 170 ක  අධ්‍යයන කාලය සම්පූර්ණ වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වීමට වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුලින් එම විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යා ශිෂ්‍යාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වනවා. 

විශේෂයෙන්ම පළමු වතාවට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා. 

ඒ අනුව දින 170 ක අධ්‍යයන කාලසීමාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්  නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා තෙක් එම විභාගය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.