Monday, January 13, 2025

General line - 0115112241

උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි - විභාග කොමසාරිස් ජනරාල් කියයි




මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදි ඉදිරි දිනවලදී ද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් වසර දෙකක් තුළ දින 354 ක් පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බවයි. 

උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළා. 

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිකාවක වන කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඒ .එම්. හංසනී කවිෂා අලහකෝන් නමැති ශිෂ්‍යාවක් විසින්. 

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. 

පෙත්සම්කාරිය කියා සිටින්නේ 2023 වසරේ නොවැම්බර් මස 29 වනදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව 2024 වසරේ අධ්‍යයන වර්ෂය රජයේ පාසල්, රජයේ අනුමත පුද්ගලික පාසල් හා පිරිවෙන්  දින 170 ක් පැවැත්විය යුතු බව දක්වා ඇති බවයි. 

එහෙත් එම දින 170 ක  අධ්‍යයන කාලය සම්පූර්ණ වීමට පෙර උසස් පෙළ විභාගය පැවැත්වීමට වග උත්තරකරුවන් ගෙන තිබෙන තීරණය තුලින් එම විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍යා ශිෂ්‍යාවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් වනවා. 

ඒ අනුව දින 170 ක අධ්‍යයන කාලසීමාව සම්පූර්ණ වීමට පෙර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් නොවැම්බර් මස 25 වනදා සිට දෙසැම්බර් මස 20 වනදා තෙක් එම විභාගය පැවැත්වීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු උසස් පෙළ විභාගය පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

අදාල ශිෂ්‍යාව විසින් ගොනුකල පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියම කළා. 

ඒ අනුව නියමිත ක්‍රමවේදය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළ බවයි විභාග කොමාසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

ඊයේ ආරම්භ වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කර ඇති මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 33,185 ක්. විභාග මධ්‍යස්ථාන 2,310 කදී එම විභාගය පැවැත්වෙනවා.

මේ අතර කිසිදු විභාග අක්‍රමිකතාවකට සම්බන්ධ නොවන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ. එලෙස අක්‍රමිකතාවලට සම්බන්ධ වන අයදුම්කරුවන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියා

ඇතැම් විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ වන අයදුම්කරුවන්ට කිසිදු රජයේ විභාගයකට පෙනී සිටීමට අවස්ථාව නොලැබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.