Monday, January 13, 2025

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධන යෝජනා දෙසැම්බර් 06 ට පෙර යොමු කරන බව ලංවිම කියයි




විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ ලංකා විදුලිබල මණ්ඩලය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ ඩී කේ පරාක්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. 

උපුටා ගැනීම.


“පැවති ක්‍රමවේදයට අනුකූලව 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම් ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 - 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සලකා, සියය 6 සිට සියයට 11 දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින් ප්‍රතික්ෂේප කරන ලදි. 
 

2024 අවසන් කාර්තුව සඳහා නොව 2025 මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙස නියාමක විසින් ඉල්ලා සිටින ලදි. 

2025 සඳහා නව යෝජනාව ක්‍රමවත් පරිදි ඉදිරිපත් කිරීම සඳහා ලංවිමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියාමක වෙත යොමු කෙරෙනු ඇත. 

2024 මුල් කාර්තු තුනේදී පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට නියාමක නිලධාරින් ගත් තීරණය නිසා 2024 අවසන් කාර්තුවේදී මිල අඩු කිරීමට ලංවිමට අවසර ලැබුණේ නැත.

2014 - 2022 කාලයේදී ණය ගැනීමට සිදු වූයේ ලංවිම වියදම් අනුමත කළද ඊට ගැලපෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම නියාමක නිලධාරින් කටයුතු නොකළ නිසාය. 

ලංවිම කාර්යය වන්නේ විදුලි වියදම් ඇස්තමේන්තු කිරීම හා ගාස්තු සංශෝධන ඉදිරිපත් කිරීම වන අතර ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම සිදු කරනුයේ පාරිභෝගිකයන් වෙත වඩාත් සාධාරණ ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

 

මෙයට විශ්වාසී, 
ලංකා විදුලිබල මණ්ඩලය
ඉංජිනේරු ඒ කේ ඩී පරාක්‍රමසිංහ - මාධ්‍ය ප්‍රකාශක”


උපුටා ගැනීම අවසන්.


මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.