Monday, January 13, 2025

General line - 0115112241

ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ - තවත් ප්‍රධාන ජලාශ 27 ක් පිටවාන් මට්ටමේ

නිමල් ජයරත්න-සමන් පාලිත-මාධව කුලසූරිය




නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව වයඹ සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ සුළං තවදුරටත් ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

ඒ අනුව හෙට දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති අතර ගංඟා රැසක ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ගං වතුර අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා. 

හැඬ ඔය, මහවැලි ගඟ, දැදුරු ඔය සහ මුන්දෙනිආරු යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට එලෙස ගං වතුර අනතුරු ඇගවීමේ නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවේ.


දැඳුරු ඔය ජලාශ්‍රයේ වාන් දොරටු සියල්ල ද මේ වන විට විවෘත කර තිබෙනවා. 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර ජලාශ ද මේ වන විට වාන් දමමින් බවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයම මේ වන විට අඩි 1 බැගින් විවෘත කර තිබෙනවා. මහවැලි ගඟ පිටාර ගැනීම හේතුවෙන් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් යටවී ඇති බවයි මනම්පිටිය නෙත් නිවුස් වාර්තාකරු නිමල් ජයරත්න පැවසුවේ.


පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා. 

ආපදා හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක පැවති බාධා මේ වන විට ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ.


උතුරු පළාතට මේ වන විටත් තද වැසි ඇදහැලෙමින් පවතන බවයි වවුනියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.